හිතෙන හැටි ( දවල් හීන ) .
අසූ තුනේදී විතර මමයි තව යාලුවෝ දෙන්නෙකුයි නැවතිලා හිටියෙ මඩකලපු පාර
අද්දර ගල්ඕඩේ .ඒක කාලෙකින් එලිකලේ නැති රූස්ස පොල්ගස් සහිත බාගෙට කලේ
වැවුණු ඉඩමක්. පායන කාලෙට ඉතිං කියල වැඩක් නෑ. බොන්නවත් වතුර හොයාගන්න
අමාරුයි . අපි හිටපු ඉඩමේ අඩියේ කළු ගලක් සහිත ලිඳක් තිබුන .එන එන වතුර
චුට්ට වටපිට ගැණු කට්ටිය අරගෙන යනවා. .
පායන්නෙ නැති කාලෙට වුනත් ආර්ද්‍රතාවය හරිම අඩුයි. ඒ කාලෙ මම
ඇන්දෙ කොඩ්රෝයි කලිසම්. කොළඹ පැත්තෙ නම් එක දවසකදී ලේසියෙන් වෙලගන්න බෑ.
වතුර තියෙන කාලෙට හොඳටම හවස්වෙලා ලිඳෙන් නාගෙන කොඩ්රෝයි කලිසම ගෙයි දොරක්
උඩින් දාපුවම හෙට උදේට වැඩට ඇඳගෙන යන්න පුළුවන්. එහෙමයි රෑටත් වේලිල්ල .
ලිඳේ අඩියේ ගල චුට්ටක් බැවුම්
සහිතයි .ඒකට උනන වතුර ටික වටපිටාවේ ගැණු කට්ටිය පාන්දර දෙකේ විතර ඉඳල
අදගෙනයනවා. අපි උදේ නැගිටලා බලනකොට වැඩේ දෙල්. වෙලා.
ලිඳේ අඩියේ එක පැත්තකට වෙන්න ඇලේට අඟල් දෙකක විතර
වතුර තියෙනව. අපි හොඳ ක්‍රමයක් හොයා ගත්ත. චූටි ළමයි සෙල්ලම් කරන්න ගන්න
බෙලෙක්ක වලින් හදපු සෙල්ලම් පනිට්ටුවක් ( ආකෘතියක් )අරගෙන එකේ කොක්කේ නූලක්
බැන්ද. වතුර චුට්ට තිබුන පැත්තට ඒක දාල නුල ගස්සුවහම පනිට්ටුව පෙරළෙනවා.
ප්‍රවේශමෙන් නූල අද්දහම සෙල්ලම් පනිට්ටුවට වතුර චුට්ටක් එනව. සෑහෙන වාර
ගණනකදී ලිඳට දාන පොඩි පනිට්ටුවෙන් එකක් පුරෝ ගන්නවා.
රත්තරන් වගේ එක මැනලා භාජන තුනකට වෙන්කර ගන්නවා. උදේට
මුණකට හෝදගන්නත් වෙන වැඩවලටත් එච්චර තමා. වෙන වැඩවලට පොල්වත්තේ ඇලේට
හැදුනු ගස් තුනක් තෝරාගෙන තිබුන. යට කැලේ පඳුරු හින්ද මොකුත් පෙන්නේ නෑ .
වැඩේ කරලා මුණකටත් සමග හෝදගන්න තිබුනේ අරවතුර ටික තමයි. .
අද වුනත් මට පුංචි වතුර බාල්දි දෙකකින් හොඳට
සබන් ගාල හොඳට නෑවහැකි. ජලය අරපරිස්සම් කිරීම ගැන කොච්චර උදාහරණ කෙස් පැලෙන
තර්ක දාල උත්තර ලියල තිබුනත් නියමම ප්‍රයෝගික අත්දැකීම් ලැබුනේ එහෙදි
තමයි. .
පායන කාලෙට
ඒ පැත්තෙ ළමයි වතුර ගෙන්න බයිසිකල් වල ලගේජ් එකේ කළ බැඳගෙන සැතපුම්
ගණන් ඇත යනව. ඒ ගොල්ලො අපේ කළත් ඉල්ලගෙන ගිහිල්ල වතුර පුරෝලා ගෙනත් දෙනව. .
හේන් ගොවියෝ තමයි වැඩිපුර හිටියේ. පායන කාලෙට කඩවල කිසි එළවලු සමන් වගේ
දෙයක් වත් නෑ. ඒ වගේ බඩු ගෙනාවොත් ණයට දුන්නාම ආපහු අයකරගන්න අමාරුලු.
තියෙන්නෙ වේලපු මෑ ඇටයි වට්ටක්කයි විතරයි. මට මතකයි දින විසි ගානක් වට්ටක්ක
කෑව. (ඇත්තටම කියනවනම් වට්ටක්ක මාව කෑව. ) කොළඹ පැත්තේ අපේ ගෙවල්වල හැමදාම
මාළු මස් නැතිනම් කරවල හරි නැතුව බත් නොකාපු මට මොනා හිතෙන්න ඇතිද. අද
වුනත් මට ඉස්තරම්ම විදිහට හරි අන්තිම චාම් විදිහටහරි ජීවත්වෙන්න එකවගේ
පුළුවන් ශක්තිය ලැබුනේ අම්පාරෙදියි. .
පායන කාලේදී රෑ වෙනකොට මුත්‍ර කිරීම හරිම අපහසුයි. අපරාදේ
කියන්න බෑ " යූරින කැල්කියුලා " කියන රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා ගල් මට
එහේදී ලැබුන දෑවැද්දක්. .
රෑට මහපාරේ වාහනයක් යන්නේ කලාතුරකින්. රෑට සීතල හින්ද අපි මහපාරේ උඩුබැලි
අතට වැතිරිලා තරු බලාගෙන කයිය ගගහ ඉන්නවා. ( දවල්ට ගිණි රත්වුණු මහපාර රෑට
උණුසුම්) පාර දෙපැත්තේම කැලේ තිබුණු කොටසක් තිබුන. උදේට ඒකෙ තැලිල පාරට
ඇලුණු හබරු , මාපිල්ලූ වගේ අඩි පහ හය දිග පත සර්පයෝ මැරිලා හිටිය. රෑ
මඩකලපුවෙ ඉඳං කොළඹ යන බඩු පටවපු ලොරිවලට රස්නේ විඳගන්න එන සර්පයො හැම
තිස්සෙම වගේ අහුවුණා. .
පායන
කාලෙට වතුර නැති හින්ද නාන්න නම් බෑ .එත් තද වියලි සුළඟ නිසා දා
දියවේලෙනවා. ඒ කාලෙට සල්ලි සල්ලි කියල හිතන්නෙ නැතිව සති දෙකකට වරක් ගෙදර
ඇවිල්ල රෙදි හෝදගෙන හිතේ හැටියට නාගන්නවා.
No comments:
Post a Comment