Thursday, November 26, 2015

හිතෙන හැටි (දවල් හීන)

මේක නමසිය හැත්තැ ගණන් වල මැද භාගයේ කතාවක්. ගමේ තේ කඩයක මිනිස්සු කහට බිබී වල්පල් කතාකරකර ඉන්න වෙලාවක්. . එහා හන්දියේ අලුතින් කඩයක් ඇරල. ඒ කාලෙ ගම් වල දැන් වගේ කෑම කඩ තිබුනේ නෑ .කඩේ දාල තිබුනේ දෙන්නෙක් එකතු වෙලා. එක්කෙනෙක් සීමන් අයිය .අනෙකා එලියස් අයිය. මේකේ හරි රසට හදපු වන්ඩු ආප්ප , හැලප , මුන්ගුලි , වැලිතලප වගේ සිංහල කෑම සමග තොසේ , වඩේ වගේ ඉන්දියන් කෑමත් දාල සරුවට පටන්ගෙන තිබුන .මේ හෝටලේට ( පුංචි කඩයක් ) බෝඩ් එකක් තිබුනේ නෑ .

මුල් කඩේ තේ බොනගමන් මිනිස්සු හෝටලේට නමක් දාන්නයි කතාව. එක එක්කෙනා විවිධ නම් යෝජනා කරනවා. අනිත් අය ඒවයේ අඩුපාඩු කියකියා ප්‍රතික්ෂේප කරනවා. .

" අපි ඒකට සීමාසහිත එලියෙස් හෝටලය කියල දාමු. ".
එක්කෙනෙක් කිවුව. .
" එතකොට එලියෙස් අයියගෙ නම විතරයිනේ. සීමොන් අයියගේ නම නෑ නේ. "
තව එක්කෙනෙක් කිවුව. .
නම යෝජනා කල එක්කෙනා පිළිතුරු දුන්නා.
" ඇයි ඕයි තමුසෙට තේරෙන්නෙ නැද්ද සීමාසහිත එලියෙස් කිවුවහම සීමයි එලියෙසුයි දෙන්නම ඉන්නවනේ "

අපේ ඉස්කෝලෙට (දහයෙ පන්තිය )අලුතින් කෙමිස්ට්‍රි ටීච කෙනෙක් ආව. ලස්සන තරුණ පුංචි ඇඟපත තියෙන එක්කෙනෙක්. මුලින්ම කරන්න තිබුනෙ සෝඩියම් ක්ලෝරයිඩ් කැට රත් කිරීම .ලුණු රත් කරනකොට පුපුරනවා. චට පට සද්දයක් ඇහෙනවා.

" ළමයි මේ සද්දෙට කියන්නේ - පටපටනය- පොත්වල එහෙම ලියාගන්න. " .

එදා ඉඳල ටිච එනකොට කොල්ලො කියන්නෙ
" ඔන්න පටපටනය එනවා "
කියල.
අපේ පන්තියේ හොඳ බඩු හිටිය. එක්කෙනෙක් තමයි ............ මඩිගසුරිය. මිනිහගේ වැඩහින්ද කොල්ලො කිවුවේ .............මගඩිසූරිය කියල. අලුතින් ආපු ටීචට අන්ඩරයක් තාම දෙන්න බැරිවුන හින්ද කොල්ලො හිතේ අමාරුවෙන් හිටියේ. මගඩිය දවසක් කිවුව

" මම ඩෙස් එකේ ඔළුව ගහගෙන ඉන්නම් .උඹල කියාපල්ලා මට සනීප නෑ කියල "

ටීච පන්තියට ආව. ළමයි නැගිටලා ආචාර කලා . .
" ඇයි .............. නැගිට්ටේ නැත්තෙ .එයාට මොකද? "
. "ටීච එයාට ඔළුව කැක්‍කුමයිලු " .
" ඔයාට මොනවද ගෙනල්ල ඕනේ "
................ ඔළුව පොඩ්ඩක් ඉස්සුවා. .
" මට දෙහි ගෙඩි දෙකක් ගන්න පුලුවන්ද " .
ටීච කෑ ගහගෙන කෙලින්ම දිවුවේ සේක්ෂනල් හෙඩ් ගේ රුම් එකට. ටික වෙලාවකට පස්සේ පන්තියට වුනදේ කියන්න ඕනේ නෑ .


මේ කතා ලිවුවේ ජොලියට නොවෙයි. සාමාන්‍ය ගැමියාට , ඉස්කෝලේ යන දරුවාට ( සමහර අය සාමාන්‍ය මිනිස්සු නූගත් කියල හිතනවනේ ) පවා කොතරම් නිර්මාණ ශක්තියක් තියනවද කියල පෙන්වන්නයි. .
අද රුපවාහිනී වැඩසටහන්වල අපූර්වත්වයක් චමත්කාරයක් නිර්මානශීලිත්වයක් තියෙනවද කියන එක මට නම් ප්‍රශ්නයක්. සමහරවිට මට තේරෙන්නේ නැතිවද දන්නේ නෑ .( කොහොම වුනත් කාලෙක ඉඳන් මම වැඩිය සිංහල වැඩසටහන් බලන්නේ නෑ .) නාට්‍යවල එඩිටර් මොනවා කරනවද එයාට " කතුරක් " නැතිද , නැති නම් පාවිච්චි කරන්න දැනුමක් නැද්ද කියලත් හිතුන. පොඩි ළමයකුට නිමේෂයකින් ඇතිකරගතහැකි , ප්‍රදර්ශනය කළහැකි අපුර්වත්වය නැහැ කියලයි මට හිතෙන්න. ප්‍රවුත්ති , දේශපාලන සංවාද හරිම ඒකාකාරියි. (බෝරින් ) මට හිතෙන්නේ ප්‍රේක්ෂකයෝ මහා මෝඩයෝ කියල ඒගොල්ලෝ පස්සේ හිනා වෙනවද දන්නෙත් නෑ. .

ඉතාම නිර්මාණශීලි වගේම එකම දේ බොහෝදෙනාට පේනවට වඩා වෙනස් විදිහට දකින්න ඒ පිළිබඳව හිතන්න පුළුවන් දරුවො ඕනෙතරම් ඉන්නවා. තීරණ ගැනීමට හැකි නිලධරයන් , ප්‍රතිපත්ති සම්පාදකයන් , දේශපාලනඥයන් ලෙස සිටිය යුත්තේ එවැනියන් බවයි මගේ අදහස. සාමාන්‍ය මිනිසා අද ඉන්නේ ( සමහරු )ඇස් ඇරගෙන. පොඩි සිද්දියක් කියන්නම් .

ඉහල නිලයක් දරන චාම් මිනිහෙක් මට මේ කතාව කිවුවේ. . උදේ වෙලාවක ගමේ මනුස්සයෙක් එක්ක එයා කතා කරකර ඉන්නවාලු. ඒ අතරේ ව්‍යායාම කරන්න පර දිගේ මිනිස්සු දුවනවලු. දහ දෙනෙක් විතර මේ දෙන්න පහු කරගෙන යනකොට ඒ මනුස්සයා මෙහෙම කිවුවලු.

" මහත්තය දන්නවද , මරණ බයේනේ මේ දුවන්නේ " .

කොහොමද මනුස්සයාගේ කියවීම. අපි කාටවත් නොපෙනෙන පැත්තක් අපූරුවට එයාට දැනුනනේ. පුංචි දරුවගේ අත් දෙකින්ම අල්ලාගෙන අම්මයි තාත්තයි මුල්ම දිනයේදී පාසලට එනවා. දරුවගේ නිර්මාණශීලිත්වය , හැකියාවට පාසල් කාලය අවසාන වෙනකොට මොකද වෙන්නේ .විභාගේ ඉවර වෙලා දරුවා ගෙදර යන දවසට අම්මවත් තත්තවත් එන්නෙවත් නෑ ( බොහෝවිට ). ගුරුවරුයි , දෙමාපියොයි , සමාජයයි , මාධ්‍යයයි හැමෝම එකතු වෙලා දරුවට ( බහුතරයකට ) මොනවද කරලා තියෙන්නේ.
එක දවසක් මගේ යාලුවෙකුට ටික වෙලාවකට පොඩ්ඩෝ ඉන්න පන්තියකට යන්න වුනා. ළමයි කිවුවා චිත්‍රයක් අඳිමු කියල. ඔහු ඉස්කෝලෙයක් අඳින්න කිවුව. චුට්ටකින් පොඩ්ඩෙක් ගොඩනැගිල්ලක් විතරක් ඇඳගෙන ආව. . .
" ඉස්කොලෙයක් වුනාම ළමයි ගුරුවරු ඉන්න එපායැ .ඒගොල්ලන්වත් ඇඳගෙන
එන්න "
" ඒ ගොල්ලො නෑනෙ සර් .ඉස්කෝලෙ ඇරලනේ "
කොහොමද ළමයගේ උත්තරේ. . හැම දරුවෙකුටම අද්‍යාපනය ලැබිමට ඇති සියලු බාධා ඉවත්විය යුතුයි. .

මට හමුවුනා ඉතාලියෙ පදිංචිව සිටින අයෙක්. ඔහුගෙ යාළු දොස්තර කෙනෙක් ඉන්නවා ඉතාලි ජාතිකයෙක්. ඔහු ඉස්සර දත් දොස්තර කෙනෙක්ලු. පස්සේ දොස්තරට එහෙන් කිවුවලු

" ඔබ තවදුරටත් අද්‍යාපනය ලැබිය යුතුයි "
කියල.
ඉතින් එයා පස්සේ ප්ලාස්ටික් සර්ජරි කරන දොස්තර කෙනෙක් ( මම හිතන්නේ ශල්‍ය වයිද්‍ය විශේෂඥයෙක් ) වුනාලු. . ලංකාවෙ නම් අනික් දොස්තරලා පස් කාවි දත් දොස්තර කෙනෙකුට පුලුවන්ද එහෙම කරන්නකියල. . 


පෙර සමාජයේ කුල ක්‍රමය තදින් තිබුනනේ. කුලයක් කියන්නේ එක්තරා ආකාරයක ශිල්පීන්ගෙන් සෑදුනු ශ්‍රේණියක්. (මෙය එකම අර්ථ දැක්වීම නොවේ. ) කිසි කෙනෙකුට තමාගේ කුලයෙන් එපිට කාර්යයක් කරන්න බෑ.කරන්න දෙන්නෙත් නෑ .

අද උසස් අද්යාපනයටත් වෙලා තියෙන්නේ මේ වගේ දෙයක්ද .මේකට කියන්නේ නිදහස් අද්යපනයද ? අපි වෙනස් විදිහට දැකල හිතල ඉදිරියට යන්න ඕනේ. පාසලට අද ඇතුලත්වන දරුවා පිටාවන්නේ අවුරුදු 12 හත් 18 ත් අතර ප්‍රමාණයකින් පසුවයි. ඒ කියන්නේ දෙදහස් තිස් ගණන් වල. 2035 දී රැකියා කරන්නන්ගෙන් සියයට 25 ක් වත් විදේශ රැකියවන්ගේ නියුක්ත විය යුතුයි. ඒ අය ඉහල නිපුණතාවන්ගෙන් යුතු ප්‍රවීන ව්රුත්තීකයන් හා ශීල්පීන් විය යුතුයි ඒ සඳහා අපි වෙනස්වෙන්න ඔනෙනේද ? අපිට එහෙම වෙනසක් දරාගන්න පුලුවන්ද


ටික කාලෙකට ඉස්සර ඒ එල් වලට විෂයයන් හතරයි. එක තුන කරන්න හදනකොට අපි විරෝධතා කලා. පෙළපාලි ගියා .නොකළ දෙයක් නෑ . දැන් ආයිත් ඒක විෂයයන් හතර කරන්න යෝජනාවක් එහෙම ගෙනාවොත් කොහොමට ඉඳීවිද .මුලින් කරපු හර්තාල් වගේ දෙගුණයක් කරයි විෂයයන් තුන හොඳයි හතර එපා කියල.

ලංකාවේ අපි එහෙම තමයි. කොයි දේකටවත් ෆස්ට් මිසක් සෙකන්ඩ් නෑ නේ.

No comments:

Post a Comment