Sunday, November 29, 2015

හිතෙන හැටි ( දවල් හීන )

                                       මේක දේශපාලන කතාවක් නෙමෙයි. . එක්දහස් නමසිය හැත්තෑ ගණන්වල මුල් භාගය්දී සිදුවීමක්. ඒ කාලේ රජයේ රැකියා තමයි වැඩිපුර ආකර්ෂණය දිනාගෙන තිබුනේ කොහොමින් කොහොමින් හරි මගේ යාළුවෙකුට රජයේ ගුරුවරයකුලෙස පත්වීම් ලිපිය ගෙදරට ආවලු.

                                      නමුත් මේ ලිපියේ නියමිත දිනය පහුවෙලාලු මිනිහට හම්බුවෙලා තියෙන්නේ. මොකක් වුනත් කමක්නෑ කියල මිනිහ අදාල දිස්ත්රික්කයවන රත්නපුරයේ අද්යාපන කන්තෝරුවට උදෙන්ම ගියා . ටිකවෙලාවකට පස්සේ අද්යක්ෂතුමා හමුවෙලා වෙච්ච සංගෙඩිය එතුමාට පහදලා දුන්නම , එතුමා ලිපිය අරගෙන කවරය හොඳට පෙරලලා බලලා , තැපැල් මුද්‍රා වල දිනය එහෙම පරික්ෂාකරල කාරණේ ඇත්තබව පිලිගත්තාලු.

" මම ඔය මහත්තයාට පාසල් නාම ලේඛනයක් දෙන්නම් , මහත්තය එක අරගෙන එලියට ගිහිල්ල හරියටම පැය බාගෙකින් මාව ආපහු හම්බුවෙන්න ඕනේ. හොඳට හිතලා බලාලා ඉස්කෝලයක් තෝරගෙන මාව හම්බුවෙන්න. හැබැයි ඔන්න පස්සෙන්පහු ඒක හොඳ නෑ කියල ඤරු ඤුරු ගාන්න එන්නනං එපා .අවුරුදු ගාණකට ආපහු මාරුවීමක්නම් හිතන්න එපා . ඒකයි මම ඔයාටම තෝරගන්න දෙන්නේ "

කියල පාසල් නාමලේඛනයක් දුන්නලු.

                                   අපේ යාළුවා කළුතර දිස්ත්රික්කයේ.පාන්දර පොල්ලෙම රත්නපුරේ බස් එකක ගිහිල්ල තමයි අද්යක්ෂතුමා මුලිච්චිවෙලා තියෙන්නේ. ඒ කාලේ කොල්ලො අදවගේ නොවෙයි. අදනම් උද්ඝෝෂණ , පෙළපාලි , (අ)සත්‍යග්‍රහ , මාරාන්තික උපවාස , කඳුලුගෑස්‌ කාල , මහා
සටන් කලාට සමහරු අම්මලා තාත්තල විතරක් නෙමෙයි බලපුලුවන්කාරයොත් එක්කයි එන්නේ. අපේකාලේ එහෙමදෙයක් නෑ . රස්සාවට ගියේ තනිවම.

                                   ඉතිං අපේ ගොයියා අද්යක්ෂතුමාගේ කාමරෙන් අර කොළෙත් අරන් එලියට ආවලු. ඔක්කොම ඉස්කෝල. ඒත් මිනිහ අහලවත් නෑ. හරියට " ගොනා සහ හකුරු " වගෙයිලු. ( ඇයි ගොනා හකුරු කාල තියෙන එකක්යැ පැණි රස දැනෙන්න ) එහෙම කියල හරියන්නෙත් නෑ.

                                   ඉක්මනට එකක් තෝරගන්නත් එපැයි. මිනිහ කැන්ටිම පැත්තේ ගිහිල්ල හකුරු කහට එකකකුත් ගගහ ( ඒ කාලෙ සීනී නෑ ) පාසලක් තෝරන්න පටන් ගත්තලු. ඒ මේසෙම තේ බිබී හිටපු මහත්තයෙක් , අපේ මිනිහගෙන් විස්තරේ දැනගෙන බොහොම පහසු පාර ළඟ ඉස්කෝලයක් තෝරල දුන්නලු.

                                  අපේ එක්කෙනත් මෙහෙම එක්කෙනෙක් හමුවීම ගැන ස්තුති කරලා කොළෙත් අරං අද්යක්ෂතුමා හමුවෙලා පාසල තෝරලා දුන්නලු. .

" මහත්තය හොඳට බලල නේද තෝරගත්තේ ? "

." ඔවු සර් "

                                  අපේ යාළුවත් සිංහයා වගේ උත්තරදීලා පත්වීම් ලිපිය බරගත්තලු.....

                                 දිග කතාවක් කෙටියෙන් කියනවනම් මිට අවුරුදු ගානකට පස්සේ මමයි , මගේ වෙන යාළුවෙකුයි , මුලින් කියපු එක්කෙනයි මොකක්ද උවනනාවකට ඒ ඉස්කෝලෙට ආපහු ගියා. පාරෙන් පයින් ගිහිල්ල , ඔරුවලින් කළු ගඟෙන් එතෙරවෙලා ආයි කියන්න දෙයක් නෑ එක විකාරයයි.

                                අපිට එහේ ගුරු නිවාසෙ නතරවෙලා හිටපු ගුරුතුමෙකුගේ නෝනා සුදුබත් උයල , කරවල තෙල්දාල ( මගේ ඉල්ලීම පිට ගුරුනිවසේ අද්දරම මහා ලොකු මිරිස්‌ ගහක තිබුණු ලස්සන බෝල මිරිස් එක්ක ) තවත් ජාති එක්ක කාපු උණු බත්වල රස..........

                               මාන්සියේ හැටියට
දිව්ය භෝජනයක් වගේ. හැබැයි ඒ හිනි මිරිස් . කාල ටිකකින් මට සැර වැඩිකමට බඩේ දැවිල්ලත් හැදුනා. .

                               මගේ මුලින් කියපු යාළුවා පුංචි පිහියකුත් හංගගෙන දවස් කීපයක්ම සැරින් සැරේ නිවාඩු දාල අද්යාපන කාර්යාලෙ පැත්තේ රවුං ගැහුවලු උපදෙස් දුන්නු මහත්තය හම්බුවෙලා හොයල දුන්නු ඉතා පහසු ස්ථානේ ගැන මතක්කරල හොඳට සලකන්න . .

                              ඒ කාලෙත් අද වගේමයි. අපරාදෙ කියන්න බෑ සමහර මිනිස්සු පුදුම විදහට අනුන්ට උපකාර කරලා ( තිරිසන් ) සතුටක් ලබාගන්නවා.
අනේ සාදු. !
දවල් හීන.

                                     දෙයියන්ට හෙම්බිරිස්සාව හොඳවෙලා වගේ. මදැයි දවස් විස්සක් විතර තිබුන. දැන්නං ඉන්දියාව දිහා බලලලු නේද ? ඒ ගොල්ලන්ටත් දෙයියන්ගේම පිහිටයි ! අපිට වගේම නාගන්න ලැබේවා ! 

                                      දවස් ගානකට පස්සේ ඉරු දෙයියො අපේ මිදුළ දිහා බැලුවෙ. ඒ ටිකේ එයා , අරයට වැඩේ බාරදීල ට්‍රිප් එකක් ගියාද දන්නෙ නෑ. . මිදුලේ තණකොළ ටිකනං ගජරාමෙට වැවිල. දැන් ඉතිං කපහල්ලකො දවස පුරාම මිදුලෙ තණකොළ!

                                      ගෙදර කවුරුවත් නෑ. ලෝන් මුවරේ අරන් මිදුලෙන් කාලක් විතර කැපුවා. කිසිම කිසි ගතියක් නෑ. අමුවෙන්ම වැඩ කරන්නත් බෑනේ. 

                                       පොඩි වොෂ් එකක් දාගත්ත .මේ තියෙන්නේ බඩු නේ. ආයි මොනවද කියන්නේ . වීදුරුවක් ගත්ත . එක බෝතලයක් ඇරලා චුට්ටක් දාගත්ත. ( මම කොහොමවත් බාල ජරාව ගේන්නෙ නෑ. හොඳ සල්ලි .නියම බඩු. බෝතලේ ඇරපු ගමං සුවඳඑනවා. ) ඊළඟ බෝතලෙත් ඇරලා ගානට දාගත්ත ( ඩොක්ට කියල තියෙන්නෙ මද පමණින් භාවිත කලාට අවුලක් නෑ කියල. ) පස්සේ පරිසිදු වතුර ටිකක් දාල කලවම් කරල හාන්සි පුටුවකට වෙලා සිප් එක , සිප් එක ගහනකොට .....................
                                       ආයි කියලා වැඩක් නෑ. ඇඟේ පතේ අමාරු කොහේ ගියද කියල නෑ . ඕගොල්ලෝ මේකේ ගතිය දන්නවනේ. ............( අනුන්ගේ සැපතට ඉරිසියා කරන්න එහෙම එපා .පොඩ්ඩක් ඔනේමනං යාළුවොත් එක්ක ළඟම ටවුමේදී .............දන්නවනේ. ) .

                                       ඔයගොල්ලෝ හිතන්නේ මොකක්ද කවුරුහරි මොනවහරි කියනකොටම අපි අපිට තේරෙන , අපි දන්න , අපිට අවභෝද කරගතහැකි අන්දමට හිතින් මවාගන්නවා.
මාධ්‍යකාරයෝ දේශපාලකයෝ ඇතුළු මෙකි නොකී අය කරන්නෙත් මේකම තමයි. .

                                       අපි අපේ අත්දැකීම් , අපට විෂයය වන දේ සමඟ හිතාගන්නවා අපි කැමති දේවල් .........අපි මවාගන්නවා. ( පරිකල්පනය නේද හරි වචනේ ) ඒ ගොල්ලො දන්නව මේක කියන , ලියන ඉදිරිපත්කරන විදිය. කොටින්ම කිවුවොත් අපිව අමුවෙන්ම අන්දනවා. (. නෑ. , මම ටිකක් වැරදියි. -- අපිම ඇඳගන්නවා. .......ගොනාට ! ඊටත් වැඩිය ඉහල බූරුවට ! නැතිනම් කොටළුවට. ) ඒ තමතමන්ගේ ශක්තිය , භාවිතාව ...........තව නොඑක් දේ අනුව.

                                      ඔයගොල්ලො හිතයි මෙයා එකපාරටම මේ මොනවද කියන පිස්සු කතා. පොර මේ මොනවද දෙන බණ ටෝක් කියල. නැත්තං බලයි මුට මඤ්ඤං ද කියල. .

                                      අපි ආපහු මුල් කතාවට යං. මුලින්ම මම ඇරියේ කෝපි බෝතලේ. මම වැඩි ගනක් දීල හරි කලවම් නැති හොඳම කෝපියි ගේන්නෙ .දෙවෙනියට ගානට දැම්මෙ සීනි .ඩොක්ට කියල තියෙන්නෙ වැඩිපුර දාන්න එපා කියල .පස්සේ දැම්මෙ උණුවතුරනේ . පුටුවක් උඩ වාඩිවෙලා සිප් එක , සිප් එක ගහනකොට මහන්සිය කොහේද කියල නෑ. .
                                      මම ලිවුවේ කෝපි හැදිල්ල ගැන. ඔනෙනං ආයිත් හොඳට කියෝලා බලන්න. ඔයගොල්ලෝ එක එක එවුව මවාගත්තට මං පළිද ? . ඔබ අන්දගත්තද නැතිද කියල , ඒ කොපමණ ප්‍රමාණයකටද ( මම කියපු එවුන්ගෙන් කොයිකටද වැඩිපුරම ගැලපෙන්නේ කියල ඔබම හිතාගන්නකෝ.) . මේක ලියපු මාත් , ඔබගෙන් සමහරකුත් ( හැමෝම නෙවෙයි ) දැන දැනම හැමදාම කරන්නෙ මේක නේද .

ටිකක් විවේකීව හිතමු. අපි මේ දුවන දිවිල්ල කොහාටද ? කොතනටද ?

Saturday, November 28, 2015

හිතෙන හැටි ( දවල් හීන ) .

" සර් ප්‍රසන්ටේෂන් එක හැදුව "

                                     මේ වැඩ කන්ද අස්සෙ හෙට මිනිස්ට්‍රි එකේ රැස්වීමකුත් තියෙනවයි කියල ඊයේ ෆැක්ස් එකකුත් ලැබිච්චි.....
                                    
                                     ඔබගේ කලාපයේ ක්‍රියාත්මක කරනලද " අහවල් " කරුණ පිළීබඳ මෙම වර්ෂයේ ප්‍රගතිය දැක්වෙන ඉදිරිපත් කිරීමක්ද එහිදී සිදුකලයුතුවේ. .
                                     අම්මප මේ ඩිරෙක්ටර් කමට වඩා හොඳයි ටෙලිෆෝන් ඩිරෙක්ටරියක් වුනානං . මෙහේ කප්පරකට වැඩ .ඒ අස්සෙ හෙට පන්දරපොල්ලේ පලයල්ලකො මිනිස්ට්‍රි. වාහනයක්වත් දෙන එකක්යැ .දුන්නත් ම්නිස්ට්‍රි හුන්ඩුවේ පාක් කොරන්න ඉඩතියෙන එකක්යැ . .

                                      ඉතිං පැදහල්ලකෝ බස්එකේ. ටයිඑක සාක්කුවේ.කොංපොරංන්ස් හෝල් එකට ඇතුල්වෙනකොට වින්ඩ්සර් නොට් එකට ටයිපොල්ල දාගෙන ගොං පාට් ඇට්‍ කොරන්නත් එපැයි .මං අහන්නෙ ලංකාවට මොටද ටයි. අද්‍යක්ෂ කියන්නේ අප විසින් සේවය ලබාදියයුතු පාරිභෝගිකයනට සියේට එකසිය ගණනාවක්ම වගකිවයුතු ඉහලම මට්ටමේ ජනතා සේවකයා.

                                      ඒ මනුස්සයා ඉන්නෝනේ මිනිස්සුන්ට තමංගේ ගැටළුව කාර්ය මණ්ඩලයෙන් විසඳුනේ නැත්තං බය නැතිව කිට්ටුවෙලා දුක කියන්න පුළුවන් විදිහටනේ. ටයිපොලු දාගෙන රාජඋෂ්නේ පෙන්නගෙන යකාමාක් එකට ඉන්නකොට මිනිහෙක් ලඟට ආවත් එයාගේ හුලං එක බැල්මෙන්ම බහිනවා. ප්‍රශ්නේට ලේසියෙන්ම ලබාදියයුතු විසඳුම හුඟක් වෙලාවට ලැබෙන්නේ නැතිවෙන්නත් පුළුවන්.

එංගලන්තෙට මිසක්කා ලංකාවට ටයි මොකටද.

                                      
                                       ඊයේ රෑ දොළහ වෙනකං ප්‍රසන්ටේෂන් එකේ සටහන හැදුව. ඒක අලුතින් ආපු කෙල්ලෙක්ට දුන්න හදන්න .

" එහෙනං බලමු " .

කිරි අප්පට බල්ලො පැනපි කිවුවාලු. එක ස්ලයිඩ් එකකට වචන හැත්තෑවක් විතර දාල.

" දරුවො , පේලි හතරක් විතර එක ස්ලයිඩ් එකකට හදන්න . මේ අකුරු වචන වලට දාල තියෙන ඇනිමේෂන් ඔක්කොම අයින් කරන්න. . මේවා බලන්නෙ වැඩ තියන මිනිස්සු. වචනෙන් වචනෙ කැරකිලා එනකොට බලාගෙන ඉන්න අයගෙ ඇසුත් කැරකෙනවා. වැඩ මදිවට රූපත් කරනං ගහනකොට බලාගෙන ඉන්න අනික් ඩිරෙක්ටර්ලට ඌරු ජුවල් යනවා ".

" මං හදල ගෙන්නං සර් "

" හරි හරි බයවෙන්න එපා. ඔයාට සෙකන්ඩ් අපර් එකකුත් තියෙනවනේ. ඉතින් හොඳට හිතල හොඳයි ටිකයි විදිහට , බලාගෙන ඉන්න එක්කෙනාට හොම්බට ඇන්න වගේ එකපාරටම තේරෙන විදිහට හදන්න."

" සර් අහවලාගේ තාත්තගේ බොඩි එක ගෙදර ගෙනල්ලලු. "

"එහෙනං අද රෑ යමුද"

" ඔවු සර් කට්ටියක් හවසම යන්න කැබ් එකකුත් ලෑස්ති
කරලා "
                                        කොහොම කොහොම හරි කට්ටියම හවස් වෙලා මළ ගෙදර ගියා . අදාල නිලධරයාගේ තාත්ත තමයි නැතිවෙලා තියෙන්නේ. සිද්දවුණු දේ එයා අපිට විස්තර කරනවා. 

" පොර පෙරෙයිද හවසත් වෙනද වගේම ටවුන් පැත්තේ ගිහිල්ල ආව. "

"පස්සේ පොර වොෂ් එකකුත් දාගත්ත ".

" පොර තේ එකකුත් බීල පත්තරේ ඉතුරු ටිකත් බැලුව "

" පොරට කිසි අසනිපෙකුත් තිබුනේ නෑ" 
විස්තරේ දිගට යනවා.

" පොරට , පොරගෙ , පොරත් ..................."

                                           ඔහොමම තමයි විස්තරේ. කට්ටි දෙක තුනක් ආපු හින්ද ඒ ගොල්ලන්ට
කතා කරන්න යන්න අපේ යාළුවා මඳකට අපෙන් සමුගත්ත. . අපේ කට්ටිය මූණෙන් මුණ බලාගෙන ඉන්නවා.

" ඇත්තටම මිනිහාගේම තාත්තද මැරිලා ඉන්නෙ ".

" ඔවු , ඔවු ඒ වුනාට මටත් උං හිටි තැන් අමතක වෙලයි උන්නෙ මේ පොර කතාවට "

"මං හිතන්නෙ මැරිලා තියෙන්නෙ පොරමොලාද කොහෙද "

කතාව අහගෙන හිටපු මට ඉබේම කියවුනා.
ඔන්න අපේ පොරවල් !!