Monday, January 25, 2016

හිතෙන හැටි (දවල් හීන )

අපි බොහෝදෙනෙකුට කන්නන්ගර මැන්ටල් පොරක් විතරයි. අද කන්නන්ගර ශුරීන් පිළිබඳව දන්නේ නිදහස් අද්යපනයේ පියා කියල .ඒ වචන වැලෙයි පිම්පියා , ගුස්පියා , බෙම්පියා යන වචන වලයි එතරම් වෙනසක් පහේ විභාගයට යන දරුවෝ විතරක් නොවේ වයිද්යවරු , ඉංජිනේරුවෝ , නීතිඥයෝ වැඩි දෙනෙකු ඇත්තටම දන්නේ නෑ.
                                                              එතුමාගේ දැක්ම අද ඉන්න අද්යාපන බලධරයෝවත් දන්නවාද යන්න සැකයක්. . සාමාන්‍ය දේශපාලකයෝවත් , විප්ලවවාදී අදහස් දරන අයවත් කන්නන්ගර හදාරා තිබේද යන්න ප්‍රශ්නාර්ථයක් .
                                                              අද වෙනත් දේවල් වලට වාගෙම අද්යාපනයටත් තියෙන්නේ බලු පොරයක්. මේ වෙලාවේ මට මතක්වන්නේ සුප්‍රසිද්ද යමපල්ලන්ගේ කතාව. මතකද අපායෙ වලවල් වටේ මුරට යමපල්ලෝ හිටියත් එකෙක්හරි ගොඩයන්න හදනකොට වල ඇතුලේ ඉන්න ලංකාවේ අනිත්අයම ගොඩයන්න හදන කෙනාගේ කකුලින් කොහොමහරි ඇදල වලටම දාගන්නබව දන්නහින්ද ලංකාවේ වලට මුරට යමපල්ලෝ දැම්ම දවසට උන් ට්‍රිප්යන කතාව. .

                                                              ලංකාවේ අද්යාපන ආයතනවලත් වෘත්තිකයන්ගේත් වෙනසක් නෑනේ. 1. 98 කට වැඩි ඉසෙඩ්අගයක් ලබාගෙන වයිද්යවිද්යාලයට යන ළමයට අපිවගේ දුප්පත් රටක නොමිලේ අද්‍යාපනය දෙනේකට මුලින්ම ගවුරවය ලබා දෙන්න ඕනේ කන්නන්ගර ශුරීන්ට බව බොහෝදෙනෙකුට මතක නෑ. එය එතුමාගේ සිහිනයක්. . අති දක්ෂ සිසුවකුවූ කන්නන්ගර සිසුවාට ලබාගත නොහැකිවූ අවස්ථාව අනාගත ලංකාවේ සිසුනට ලබාදීම සඳහා යටත්විජිත පාලනසමයේදී අතිමහත් දිරියෙන් , මහා භාදක මැඩ ගෙන කල සටනක ප්‍රතිඵලය ලෙසයි එකල මුදල් ඇති අයට පමණක් ලබගතහැකිවූ උසස් අද්යාපනය සාමාන්‍ය ජනතාවටත් ලබාගත හැකිවුයේ යන්න සැබැවින්ම අවබෝදකල හැකිවන්නේ කීයෙන් කී දෙනාටද . එතුමාගේ සිහිනය වුයේ ලංකාවේ සෑම දරුවකුටම එකල සිතාගත හැකිමට්ටමින් උසස්ම වෘත්තියක් කරා යොමුකරවීම බව එතුමා ලංකාවේ අද්‍යාපනයට කල වෙනස්කම් වලින් හා එතුමාගේ ජීවිතය පිළිබඳව යන්තමින් හෝ ලියවීඇති පොත් කියවීමෙන් අවභෝදකරගතහැකියි.

                                                              එක්දහස් නමසිය හැත්තෑ දෙකේ විතර ආචාර්ය ප්‍රේමදාස උඩගම ( රණසිංහ ප්‍රේමදාස මහත්තය එහෙම නොවේ ) ඉදිරිපත්කල සැමට විද්‍යාව නමැති අද්යාපන සංකල්පය බොහෝදෙනා අහලාවත් නැතිව ඇති . ඒ කාලේ වෙනකන්ම අටේ පන්තියේ අවසානෙදි ළමයි බෙදනවා. කොහොම වුනත් මොනතරම් දක්ෂ ළමයෙකුටවත් ඉස්කෝලේ පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගෙන් වෙනත් පාසලකට යන්න බැරිවුනොත් ලෙඩේම තමා. .

                                                              ඒ කාලේ බහුතරයක් පාසල්වල තිබුනේ කලා විෂයයන් විතරයි. අංක ගණිතය , ඉතිහාසය ,භූගෝලය , සිංහල වාගෙ ඒවා. පස්සේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට ප්‍රදේශයේ ටිකක් ලොකු ඉස්කෝලෙක කලා හදාරලා කැම්පස් එකෙන් කලා උපාදියක් ගන්න එකයි හැමෝටම සිදුවුනේ කොතරම් දක්ෂ වුනත් . ටික දෙනෙකුට කලාතුරකින් වාණිජ කරන්න හැකිවුණා .එහෙම පාසල් බොහොම ටිකයි තිබුනේ. ඉතාම කලාතුරකින් ( හරියට හාව හඳ දකින්නා වාගේ. ) කලා , වාණිජ හා විද්‍යා දරා තුනම අටේ පන්තියෙන් පස්සේ තියෙන ඉස්කෝල තිබුන. ඒකට ගිය වාසනාවන්ත ළමයින්ගෙන් වැඩි දෙනෙක් තිබූ පහසුකම් අනුව කලා ධාරාවටත් , ටිකදෙනෙක් වාණිජ ධාරාවටත් සීමිත පිරිසක් විද්‍යා දාරවටත් ගියා . දහයේ විභාගෙන් වැඩි දෙනක් අසමත් වුනා. විද්‍යා දරාවෙන් ලංකාවෙන්ම උසස් පෙලට සිටි අති සිමිතයනගෙනුත් කොටසක් සරසවි ගියා. . කොහොම වුනත් මද්‍ය විද්‍යාල හරහා පෙරකලදී සමාජ තත්වයනිසා උසස් අද්‍යාපනය පිළිබඳව සිහිනයක් හෝ නොතිබූ දහස් ගණනක් දරුවන් ආලෝකයට ගියා. .

                                                            අපේ අම්මා ගැමි පවුලක සාමාන්‍ය දරුවෙක්. නමසිය තිස්

ගණන්වලදී රජයේ විභාගයෙන් විශිෂ්ට අන්දමින් සමත්වී තාරකා ලකුනක්ද සහිතව සිළුමිණ පත්තරයේ ඇගේ නම පලවී තිබුනාලු. කන්නන්ගර යුගයට අසුවුනානම් වයිද්‍ය ඉංජිනේරු වැනි උපාදියක් ලබාගැනීමට තිබුනා .ඇය රජයේ හෙදියක් වුනත් ඉලක්කම් තුනක ගණනක් ඉලක්කම් දෙකක ගානකින් වැඩිකරන්න කල්කියුලේටරයකටත් වැඩිය පුළුවන්. .

                                                            ප්‍රේමදාස උඩගම නිසා ( 1970 -77අතර ) සියලුම රජයේ පාසල් වලට විද්‍යාව හා ගණිතය ( අංක , විජ හා ජ්‍යාමිතිය ඇතුලත් )හඳුන්වාදීම නිසයි අද තත්වෙට එන්න පුළුවන් වුනේ . . මේ හැමෝගෙම අරමුනවුනේ සිසුන්ට බාදක දාල අද්යාපනේ සිමා කිරීම නොවේ. බදා ඉවත්කොට සියල්ලන්ටම දොරටු විවුර්තකිරිම . අද අද්යාපානය කවර අයුරකින් හෝ සීමාකිරීම පිළිබඳව කතාකිරීමත් ඉතිහාසයේ අප පසුකර ආ කඩඉම් කරා නොදැනුවත්ව හෝ ආපසු යාමක්. .

                                                          අපි වෙනත් රටක රෝහලකින් ලංකාවේ ලබාගත නොහැකිතරම් විශේෂඥ ප්‍රතිකාර ලබනකොට එයාගේ පහේ , සාමාන්‍යපෙළ හෝ උසස්පෙළ සුදුසුකම් බලනවාද. ? ............

                                                          එම වයිද්යවරයා ලංකාවෙන් යන එෆ් ආර් සී ඇස් , එම් ආර් සී පී , එම් ඩී යන පස්චාත් උපාධි සඳහා දේශකයෙක් වෙන්න බැරිද. ඔහු ලංකාවේ හිටියනම් වයිද්‍ය විද්‍යාලේ දිහා බලන්නවත් වෙන්නේ නෑ.


                                                         විභාගයක් කියන්නේ හැම දරුවකුම අවස්ථානුකුලව වෙනස්වන ලකුණු ලබාගන්නා එක්තරා ආකාරයක යල්පැනගිය ක්‍රමවේදයක්. මේක මෙහෙම නොවේනම් පහවසර , සා පෙළ , උසස් පෙල හා සරසවියේදී ලංකාවේ මුල් ලකුණු ලබාගත් සිසුන් දහය ඒ අයුරින්ම වගේ දක්ෂතා දක්වන්න ඕනේ. පසුගිය අවුරුදු විස්සේ ප්‍රතිඵල බලන්න . ඒක එහෙම නෑ. . අද්‍යාපනයට සිමා දැම්මේ වයිදික යුගයේ ඉන්දියාවේ වර්නශ්‍රම ධර්ම හඳුන්වාදුන් සමයේ. බුදුන්වහන්සේ , ක්‍රිස්තුස්වහන්සේ වැනි යුගපුරුෂයින් එකල ඒවා සිඳ බිඳ දැමුවා. .

                                                        දන්කාලේ පෙළපාලි යන සිසුන් , ඔවුන් අවුස්සන විද්වතුන් ඉදිරියේ කන්නන්ගර මොන බල්ලෙක්ද . මොන මැන්ටල් පොරක්ද . අවුරුදු දෙදහස් ගානකට ඉස්සර හිටපු උත්තමයෝ කවුද.

අපිනේ පොරවල්. අපිනේ ප්‍රාග්ඥයෝ. මනුෂ්‍ය අයිතිවාසිකම් සඳහා පෙනිසිටින්නෝ

Thursday, January 7, 2016

හිතෙන හැටි ( දවල් හීන )

ආගම පිළිබඳව මගේ අදහස් කියවනවිට බොහෝ සෙයින් පරිස්සම් වන ලෙස මුලින්ම ඉතා ගවුරවයෙන් ඉල්ලසිටිනවා. මා බොදු දහම පිළිබඳව ගැඹුරට හැදෑරු හෝ , පාලි බස පිළිබඳව දැනුමක් ඇත්තකු හෝ ප්‍රමාණික විද්වතකු නොවේන නිසයි ඒ . .

මා මුල් ලිපියක බුදුදහමට නොඑක් අයගේ අදහස් එක්වීම නිසා එය මුල් අදහසින් යම් තරමකින් හෝ බැහැරවීමට ඉඩ ඇතිබව ප්‍රකාශ කලානේ. ඉතින් ඔබ මගේ අදහස් කියවනවිට රතු පැහැයෙන් දවන පොල්කටු අඟුරු කැබැල්ලක් ඔබේ අතින් අල්ලනවා යයි සිතන්න. එසේ නොමැතිව ඒවා බුදු දෙසුම් වටහාගත් අයෙකුගේ කියමන් යයි සිහිනයකින් හෝ සිතන්නටවත් එපා. .

අෂ්ට ගරු දර්ම පිළිබඳව කුඩා කාලයේදී සිටම මගේ සිතේ කුකුසක් පැවතුනා. බුදු දහමේ එන ඥාන වෘද්ද , ගුණ වෘද්ද , වයෝ වෘද්ද වැනි සංකල්පවලට මෙය පටහැනියි වගේ. බොහෝ ගුණ නුවනින් අගතැන්පත්වූ , පිළිවෙත් සපුරා බුදුමගෙහි ඉහල තලයකට පත්වූ භික්ෂුණින්වහන්සේනමක් අද උපසපන්වූ ස්වාමින්වහන්සේනමකට වැඳීම මා මුලින් සඳහන්කල සංකල්පවලට හා බුදුන්වන්සේගේ වෙනත් ක්‍රියාවන්ට නොගැලපෙනවා වගේ.


. කොහොමත් කාන්තාවන් දහමට නැඹුරුවීම සිදුවූවිට දැඩි අදිටනකින් යුක්තව දහම් මඟෙහි ගමන්කරනබව අදටත් පෙනෙන සත්‍යයක්. ඔවුන් පවිදිබවට පත්වූවිට දර්මය ඉගෙන පිළිවෙත් සපුරා දැඩි වීර්යයකින් මහණදම්පුරා බොදු මඟෙහි ඉහලටම ගමන්කර උත්තමියන් වන්නට ඇති.

. පුරුෂ පක්ෂයට වඩා ගුණයෙන් නුවනින් ශිලාදී කරුණුවලින් බබලන්නට පටන්ගන්න ඇති. මහජන ගවුරවයට ඔවුන් පත්වීම නොරිස්සු පුහුදුන් භික්ෂුන් පැවති යම් යම් විනය කරුණු වෙනස්කරමින් මම අට ගරු දහම් ක්‍රමයෙන් සම්මත කරගන්නට ඇති

. අදපවා ප්‍රවේගකාරී අදහස් ක්‍රියාවට නංවන භික්ෂුන් අප රූපවාහිනියෙන් පවා දකිනවානේ . ඇතමුන් අයිතිවාසිකම් දිනාගැනීමට යැයි කියා ප්‍රතිපාදන කොමිසමේ වහලට පවා නගිනවිට සමහර උන්වහන්සේලා කීමට අපහසු තරම් දුක් අනුභවකරමින් අප්‍රතිහත දයිර්යයෙන් කටයුතුකරමින් බොහෝ ඇසූපිරූ තැන් ඇතිව දායකයින් නොමඟ නොයවා මේ මොහොතේදී පවා තමාගේ සිත රැකගතයුතු අයුරු පිළිබඳව දම් දෙසනවා ඔබ අසා ඇති . .

රුපවාහිණී නාලිකාවල යන ප්‍රවුත්ති නමින් ප්‍රචාරය කරන ඕපාදුප , ඉස්මතුකරන වයිර ක්රෝද වැනි මනෝභාවයන් , සාකච්චා සංවාද වලදීද පලිප්පු දමනසැටි ඔබ දකිනවා ඇති ඒ අතර බවුද්දයා වැනි ඒවායේ යන අතැම් දෙසුම් වල ඉදිරිපත් කරන විග්‍රහකරන කරුණු ඇත්තටම ආනන්දජනකයි

. ශරීර අවයව වැනීමෙන් හෝ රළුවදනින් විප්ලව කරන හාමුදුරුවරුන්ට වඩා ඉතා ගැඹුරු දහම් කරුණු ලැබි ඇති කුඩා කාලසීමාව තුල මැනවින් කළමනාකරණය කරගෙන මුදු වදනින් ලෝකය පුරා වෙසෙන අපවැනි දුහුනන් හට බුදු වදනේ ආලෝකය දෙන උතුමන් කරන මානසික විප්ලවය වඩාත් සොඳුරුයි. හිතකරයි . ප්‍රතිපල දායකයි මම පුදපුජාවලට වඩා බුදුදෙසුම් වලට කැමතියි .

. අවුරුදු සියගණනක් තිස්සේ මුල් බුදු දහම තිබෙන්නට ඇති . එහි පුදපුජා වලටවඩ සිත දුනුකරමින් විමුක්තිමඟ යන්නන් බහුලවන්නට ඇති .උන්වහන්සේලා ලබන ගවුරව වලට ගිජුවූ අන්‍යයන්ගෙන් සසුන බේරාගැනීම සඳහාද සංගායනා උපකාරවුනා . බුද්දිමය සංවාද වලට වඩා මිනිසුන් හාස්කම් දේවසංකල්ප ආදියට නැඹුරු වීම ඉතා පහසුයි .ඉතින් ඔවුන්ගේ දෙවියන් සමග නොසමවීම සඳහා දෙතිස් මහා පුරිස ලකුණු , අසු අනු ව්‍යංජන වගේ කරුණු බුදුරුවට එක්කරන්නට ඇති. ඒ කොහොම වෙතත් සිදුහත් කුමරු අසාමාන්‍ය හැකියාවන් හා ඉතාමත් ලක්ෂණ ( බැලූවිට දෙවියෙකු මෙන් පෙනෙන )හා අසාමාන්‍ය බුද්දියක් සහිත සාමාන්‍ය රාජ කුමාරයෙක් ( කිඹුල්වත , ලිච්චවිය මෙන් ගන රජයක් නිසා ) වන්නට ඇති

. . බුදුන් අවසානයේදී ලේ සහිත පාචනය සෑදී ගසක් මුල වැඩසිට ආනන්ද හිමියනට ජලය ගෙනෙන ලෙස පැවසු අවස්ථාවේ තම සිරුර

නිරත්තන්ව ඛලිං ඝ්රන් .

මගේ සිරුර දිරාගිය දර කොටයක් මෙන් ඵලක් නැති දෙයක් . යැයි පැවසීම උන්වහන්සේ සාමාන්‍ය මිනිසකු බව නිරුපනය වන හොඳ අවස්ථාවක්. . එයින් උන්වහන්සේ නිරුපනයකළ වෙනස්වීමේ ලක්ෂණය කොතරම් ගැඹුරුද. . බුදුන්වහන්සේ දෙවියන් නම් රෝ දුක් පීඩා නොමතිව රුපය ජරාවට පත්නොවී චුතවීමට තිබුනානේ.


. වඩාත්ම වැදගත් කරුණ වන්නේ ඕනෑම කෙනෙකුට බුදුවීමට හැකිබව නමැති සංකල්පයයි. ඒ සඳහා යායුතු මඟද උන්වහන්සේ විසින්ම වදාරා ඇතිබවයි. කර්මය හා කර්මඵලය සත්වයා තමාගේම ක්‍රියාකාරීත්වයෙන් ඇතිකරගැනීමත් ඔහුටම එය වෙනස්කරගැනීමේ හැකියාව ඇතිබවත් මිනිසාට එය අභිබැවිය හැකිබවත් අද මිනිසාටද අත්වින්දියහැකි සත්‍යයක්. බොරු අටෝප අත්හලවිට බුදුහිමි නමැති උත්තම , මහා ගුණැති , මහා ප්රග්‍ඥාවන්ත මිනිසා මවාගැනීමට හැකියි


. . සුත්‍ර , අභිදම් ආදිය ඇසුරුකොටගෙන දම් දෙසන හා ඒ මඟ යන බොහෝ ස්වාමින්වහන්සේලාගේ ඇසුර අපට නිබඳව ලබාදෙන බවුද්දයා මාද්‍ය ජාලය සැදූ හිමියන් මහා සම්පතක්. . මිනිසා , මිනිස් ස්වභාවය , සිතිවිලි , මනෝවිද්‍යාව පිළිබඳව උන්වහන්සේ තරම් කියුවකු මා නම් අසා නැහැ. උන්වහන්සේ දෙවියකුමෙන් නිරුපනය නොකර මහළු කාලයේදී සිටි අයුරුත් චිත්‍ර ප්‍රතිමා ආදියෙන් දක්වුවානම් කොතරම් අගෙයිද. . අනුරපුර සමාධි පිළිමය , අවුකන ...................ආදී පිළිම මෙන්ම දුෂ්කරක්‍රියාව දක්වන අනුරුවද උන්වහන්සේගේ කැපවීම විර්යය .............ආදිය දැක්වෙන්නක්.

. කවුරුන් හෝ කලාකරුවෙක් උගත් හිමිනමකගෙන් බුදුන්ගේ අවසන් කාලය පිළිබඳව දැනගෙන විවේක බුද්දියෙන් ශ්‍රද්දාවෙන් යුතුව නිර්මාණ කරනවානම් ................

. පවුද්ගලිකව මා නම් බුදුන් හා දර්මය සංගයා හැර කිසිවක් උතුම්කොට සලකන්නේ නෑ. බෝදි පූජා , අපිටම සෙත් පතාගන්නා බොදු මන්ත්‍ර වැනි කොටස් ආදිය පසුව එකතුකළ දේ ලෙසයි හඟන්නේ . විපත් වලදී පිහිටවන , ආශ්චර්ය සිදුකරන මජික්කරුවකු , දෙවියකු හෝ යකෙකු වැනි ( දෙක පහේ කෙනෙක් -සාමාන්‍ය ව්යවහාරය ) කෙනෙකු හෝ සමකල හැකි කෙනෙකු නොවේ මා දකින බුදුන්වහසේ. මා දෙවුලොව ගෙනයාමේ හෝ නිරයට හෙලීමේ හැකියාවක් උන්වහන්සේට නැහැ. වරදට දඬුවම් දෙන්නකුත් , ගලවාගන්නකුත් නොවේ. උන්වහන්සේගේ නිර්මාණයක් නොවේ බොදු මඟ. එය කාලයෙන් වැලලිගිය මඟක් නැවත පාද ගැනීමක් පමණයි.

Wednesday, January 6, 2016

හිතෙන හැටි ( දවල් හීන )
අපේ හාමුදුරුවන් වහන්සේලා බොහෝ නමක් සිත නිවන දේශනා පවත්වනවා. . ඒත් සමහරුන් බුදුබණ වඩාත් පැහැදිලි කිරීම සඳහා නවීන විද්‍යාව නවීන බටහිර උගතුන්ගේ මත පෙන්වමින් ඒ අනුව දර්ම කොටස් සත්යබව දේශනා කරනවා. දර්මය යනු සනාතන සත්‍යය වන අතර විද්‍යාව යනු වෙනස්වන සත්‍යය වේ .විද්‍යා මතය නිතර වෙනස් හෝ සංශෝදනය වෙනවා. ආගමික මත විද්‍යාවට ඇඳුවිට ඒවාද වෙනස්වියහැකිය
කසු දාගැප් ( මැටි දාගැබ ) කසුන් දාගැප් වූ විට රන් දාගැබ වෙනවා. අකුරක වෙනසින් මහා වෙනසක් වුනා. මෙවැනි වෙනස්කම් කොපමණක් ඇතිද ? අද අප බොහෝදෙනා විසින් මහත්සේ අගයකරනුලබන පෙරහර ශබ්දපුජා බෝදිපූජා මෙන්ම ඇතැම් සුත්රවල ඇතැම් කොටස් වන්දනා ගාථා වලට පවා මහායානයේ කොටස් මෙන්ම හින්දු දේව බලපෑමද මිශ්‍රවී තිබීමට හැකියි. .
බවුද්දයා අද වෙනත් ඇතැමුන් මෙන්ම ලෝක ස්වභාවය තේරුම් නොගෙන නොඑක් වතාවත් සිදුකරමින් අමිසපුජා වල පමණක් එල්බගනිමින් බුදු දහමේ හරය තේරුම් නොගෙන ක්‍රියා කරනවා වෙන්න පුළුවන්. .
අද අප සිදුකරන ඇතැම් ආගමික පුදපුජා වල අවසාන හරය තණ්හාව මෝහය වඩවා ගැනීමක් තමාටම සෙත පතා ගැනීමක් දක්වා ඉදිරියට ගොස් ඇතිබව මට හිතෙනවා .අටලෝදහම තේරුම්ගෙන සැමට එකසේ නොසැලී මුහුණදීමට නොහැකිබැවින් බුදුන්වහන්සේගෙන්ද දර්මයෙන්ද දෙවියෙකුගෙන් මෙන් පිහිටපතා යැදීමට බොහෝදෙනා පුරුදුවී තිබෙනවා. බුදුන් වහන්සේ වැඩිපුරම දම් දෙසුවේ අන්‍ය අදහස් දරන්නන්ටයි. ඔවුන් වටහාගත් බොදු දහම පිළිවෙත බවුද්ද යයි කියාගන්නා අප පිළිපදිනවද යන්න මතභේදයට තුඩු දෙන්නක්. .
අප දන් දෙන්නේ අනාගතයේදී එමෙන් මහත් වාර ගනනාවක් අපට ලැබේවා යන්න පතමින් නම් එයින් සිදුවන්නේ තෘෂ්ණාව වැඩීමක් මෝහන්ධකරයේ ගිලීමක් නොවේද .මට නම් හිතෙන්නේ වඩ වඩාත් අප මේ මගින් එහි ඇලෙන බවයි. අප යමක් කලයුත්තේ නිස්සරනාධ්‍යාශයෙන් බවයි මගේ අදහස. පොළියට මුදල් දී අදික තණ්හාවෙන් මුදල් රැස්කරන මසුරකුමෙන් දාන ශීල භාවනා කිරීමෙන් ඵලක් වේද . බුදු දහමේ හරයෙන් අප වඩාත් ඇතට ගමන් කරනවා නේද. නිමක් නොමැති සසර ගමනේ තව තවත් ගමන් කිරීමට හදනවනේද. කුඩාකලදීම පැවිදිව ඉතා මහන්සිවී පාලි බස ඉගෙන පිළිවෙත් සපුරමින් තමුන් හා අනුන් එතෙරකිරීමට හා කරවීමට වෙර දරන උතුමන් වහන්සේලාගේ වෑයම අතිශයින් අගය කලයුතු නොවේද .බොදුනුවන්වූ අප මීළඟ භවයේදී පැතිය යුත්තේ එවැනි ගමනක් නොවේද. .
අප කුඩාකල සිටම බොදු දහම පිළිබඳව මඳක් හෝ ඉගෙනගෙන ඇති නිසා ඕනෑම අභියෝගයකට ශක්තිමත්ව හා උත්සාහයෙන් වීර්යයෙන් යුතුව නුවනින් කටයුතු කලයුතු නොවේද. .
ඕනෑම දුකක් ලෝකස්වභාවය අනුව තේරුම්ගෙන නිවැරදි මගෙහි ගමන්කිරීමට ජය ලැබීමට අපට දහමින් කියාදී නැතිද. .
අද දම් දෙසන ඇතැම් ස්වාමින්වහන්සේලා මෙවැනි කරුණු කෙරෙහි ශ්‍රාවකයා යොමු කරවීමද වැදගත් නොවේද. .
එක්තරා උගත් නිලදරයකු පැවසූ කරුනක්ද මට සිහිවෙනවා . ඔබ යමෙකුට උදවු කරනවානම් එම තෑගි පාර්සලය පිරිසක් මැදදී දීමෙන් එම දරුවාගේ අභිමානයට ඔබ විසින් සිදුකරන හානිය කොතරම්ද. උදවු කිරම බෝසත් ගුණයක්. එය අපගේ කිර්තිය තකා කලයුත්තක් නොවේ. එය කලයුත්තේ කිසිවකුගේ අභිමානයට කැළලක් නොවන අයුරින්. එවිට එම දරුවාට හෝ තැනැත්තාට පසුව නැගීසිට වෙනත් අයෙකුට හෝ මුල් තැනැත්තාට කළගුණ සැලකිය හැකියි. ( මගේ සත්‍ය ඇත දැකීමක් මා ගෙයක් හදන පින්තූරයක් සමග එෆ් බී එකේ දම තිබෙනවා ) සුප්‍රසිද්ද තායි කෙටි චිත්‍රපටයක් තිබෙනවා ඔසුසල් හිමියකු හා කුඩා දරුවකු පිළිබඳව පසුකලෙක ශල්‍ය වයිද්යවරයකුවන . .ඔහු ගිලන්වූ ඔසුසල් හිමියා රැකගන්නවා.................
WILL CONTINUE WITH THE NEXT ARTICLE.....
http://hithena-hati.blogspot.com/

Tuesday, January 5, 2016

හිතෙන හැටි ( දවල් හීන )
ඔන්න භව්තික විද්‍යාව හරි ඒ වගේ වෙනත් විෂයයක් ගැන හරි ලෝකපූජිත මහාචාර්යවරයෙක් සභාවකට දේශනයක් කලා කියල හිතමු. ඒක අහන්න අවිල්ලා ඉන්නවා විවිධ මට්ටමේ අය.
එම විෂයය ගැන පී එච් ඩී වගේ දැනුමක් ඇති අය එම උගතා විසින් කෙටියෙන් පැවැසූ දෙය තමාගේ දැනුම හා බුද්ධිය අනුව විමසා බලා තේරුම්ගන්නවා . වෙනත් අයෙකුට එම ගැඹුරු කරුණු හොඳින් නොතේරුණත් සරලදේ තේරෙනවා. ගැඹුරු වචනවල අර්ථය ඔහු දන්නා , අසාඇති ඔහු අත්විඳි ඔහුට සිතාගතහැකි ඔහුට මවාගතහැකි අයුරින් වෙනත් අයට විස්තර කරනවා. එයා කියනදේ අහගෙන ඉන්නෙ මුල්සභාවට නොගිය පිරිසක්. ඒ අය මේ එක්කෙනා කියනදේ තමුන්ගේ මට්ටම අනුව හිතාගන්නවා වෙනඅයටත් කියනවා. ඉතින් මුල්උගතාගේ දේශනයේ ඇති වැදගත් කරුණු අඩංගු (අපේ ජීවිතයට මහත්සේබලපාන ) කියමන දෙවෙනියෝ තුන්වෙනියෝ අතින් අපට ලැබෙනවා. අපිත් අපිට තේරෙන විදිහට තේරුම් ගන්නවා. ඉතින් අපිට ලැබෙන්නේ ,නිශ්චිතවම මුල් උගතා විසින් පැවසු කරුණුම නෙමෙයි. එහෙම වුනත් මුල් පණිවිඩයේ අඩංගු අදහස් වලින් බොහෝ දේ යම් යම් නිවැරදි නොවන කරුණු සමග අපිට ලැබෙනවා. .
මට හිතෙන හැටියට අපිට ලැබෙන බුදුදහමත් ඒ වගෙයි. සංගායනා කීයක් තිබුනද හෙළඅටුවා බුද්ධගෝෂ හිමියන් විසින් එකල ජාතයන්තර භාෂාවවූ පාලියට හෙළ අටුවා පරිවර්තනය කලාලුනේ . ඉන් පසු හිතාගන්න බැරි විදිහට එම හෙළ පොතපත විනාශ වුනාලු. අපි ඉගෙනගන්නා කාලේ අචාර්ය ..........හිමි පැවසුවා හෙළ අටුවා විනාශවීම ඉතා සැක සහිත සිදුවීමක් බව.

එකල බොහෝ බෙදීම් වලට ලක්වූ ඉන්දියාවේ මහායාන බුදුදහම , නැවත නැගෙමින් පවතී හින්දු දහම , එමෙන්ම සිරිලක දර්ම ශාස්ත්‍රීය ප්‍රබෝදය නොරිසි විදේශීය බලවේගවල අදිසි හස්තයකින් හෙළ හිනයානයේ පැවති දහම් පොත් හා සබැඳි බුදු දහමේ හරයට මහායාන විසිතුරු ඇදහැලි පුජාවිදි දේව ඇදහැලි වැනි දේ සියුම්ව එක් කිරීමට හෙළ අටුවා විනාශ කිරීම හා පාලිය සිරිලක බුදුදහමේ ග්‍රන්ථාගත භාෂාව වීම හෙතුවුවාද යන්න සැලකිය යුතුය. .
ලොව මෙන්ම සිරිලකෙහිද සැමදා බලය හා වෙනත් කරුණු සඳහා අරගල තිබුණා. සිරි ලක රජවරු රජකමට උරුමය තිබූ අන් සියල්ලන් බොහෝවිට යටපත්කොට දුර්වලකොට විනාශ කලබව ඉතහාසය කියවනවිට හැගෙනවා . (ඒගැන අවභෝදයක් ලබාගැනීමට 1970 සිට අද දක්වා ලංකාවේ දේශපාලනය දෙස පසෙකින් සිට මැදහත්ව නිරීක්ෂණය කිරීමෙන් අවභෝදයක් ලබාගැනීමත් ප්‍රයෝජන වන්නට පුළුවන් ) එමෙන්ම නොඑක් මතවාද ඇදහැලි අවුරුදු දෙදහස් ගණනාවක් තිස්සේ සිරිලක බුදුදහමට ක්‍රමයෙන් කාන්දුවුනා. පොතපත පුස්කොලවලට නැවත නැවත පිටපත් කරද්දී අකුරු වෙනස් වුනා. අලුත් පාඨ එකතුවුණා , අඩුවුණා විදේශීය ආක්‍රමණ , දේශීය කැළඹිලි ආදියේදී බුදුදහමද පරිණාමයට බඳුන්වුනා .නොයෙක් මුල් අරුත් යටපත්වුණා , වෙනස්වුනා , විකුර්තිවුනා .අද අපිට ලැබීඇති බුදුදහම එවැන්නක්‌. එය මේ තරමින් හෝ රැකගෙන අපහට ලබාදීමේ පුර්ණ ගවුරවය ජිවිත පරිත්‍යාගයෙන් සසුන රැකගත් සිරිලක සඟ පරපුරට අත්විය යුතුමයි. .
ඇතැම් බොහෝ කරුණු අතිශය වෙහෙසක් දරා පරිශිලනය කල , ප්‍රගුනකරන නිහතමානී හිමිවරු බුදු දහමේ හරය කරා දර්මදේශනා මගින් ශ්‍රාවකයා යොමුකරවීම ආනන්දජනක කරුණකි.

Sunday, November 29, 2015

හිතෙන හැටි ( දවල් හීන )

                                       මේක දේශපාලන කතාවක් නෙමෙයි. . එක්දහස් නමසිය හැත්තෑ ගණන්වල මුල් භාගය්දී සිදුවීමක්. ඒ කාලේ රජයේ රැකියා තමයි වැඩිපුර ආකර්ෂණය දිනාගෙන තිබුනේ කොහොමින් කොහොමින් හරි මගේ යාළුවෙකුට රජයේ ගුරුවරයකුලෙස පත්වීම් ලිපිය ගෙදරට ආවලු.

                                      නමුත් මේ ලිපියේ නියමිත දිනය පහුවෙලාලු මිනිහට හම්බුවෙලා තියෙන්නේ. මොකක් වුනත් කමක්නෑ කියල මිනිහ අදාල දිස්ත්රික්කයවන රත්නපුරයේ අද්යාපන කන්තෝරුවට උදෙන්ම ගියා . ටිකවෙලාවකට පස්සේ අද්යක්ෂතුමා හමුවෙලා වෙච්ච සංගෙඩිය එතුමාට පහදලා දුන්නම , එතුමා ලිපිය අරගෙන කවරය හොඳට පෙරලලා බලලා , තැපැල් මුද්‍රා වල දිනය එහෙම පරික්ෂාකරල කාරණේ ඇත්තබව පිලිගත්තාලු.

" මම ඔය මහත්තයාට පාසල් නාම ලේඛනයක් දෙන්නම් , මහත්තය එක අරගෙන එලියට ගිහිල්ල හරියටම පැය බාගෙකින් මාව ආපහු හම්බුවෙන්න ඕනේ. හොඳට හිතලා බලාලා ඉස්කෝලයක් තෝරගෙන මාව හම්බුවෙන්න. හැබැයි ඔන්න පස්සෙන්පහු ඒක හොඳ නෑ කියල ඤරු ඤුරු ගාන්න එන්නනං එපා .අවුරුදු ගාණකට ආපහු මාරුවීමක්නම් හිතන්න එපා . ඒකයි මම ඔයාටම තෝරගන්න දෙන්නේ "

කියල පාසල් නාමලේඛනයක් දුන්නලු.

                                   අපේ යාළුවා කළුතර දිස්ත්රික්කයේ.පාන්දර පොල්ලෙම රත්නපුරේ බස් එකක ගිහිල්ල තමයි අද්යක්ෂතුමා මුලිච්චිවෙලා තියෙන්නේ. ඒ කාලේ කොල්ලො අදවගේ නොවෙයි. අදනම් උද්ඝෝෂණ , පෙළපාලි , (අ)සත්‍යග්‍රහ , මාරාන්තික උපවාස , කඳුලුගෑස්‌ කාල , මහා
සටන් කලාට සමහරු අම්මලා තාත්තල විතරක් නෙමෙයි බලපුලුවන්කාරයොත් එක්කයි එන්නේ. අපේකාලේ එහෙමදෙයක් නෑ . රස්සාවට ගියේ තනිවම.

                                   ඉතිං අපේ ගොයියා අද්යක්ෂතුමාගේ කාමරෙන් අර කොළෙත් අරන් එලියට ආවලු. ඔක්කොම ඉස්කෝල. ඒත් මිනිහ අහලවත් නෑ. හරියට " ගොනා සහ හකුරු " වගෙයිලු. ( ඇයි ගොනා හකුරු කාල තියෙන එකක්යැ පැණි රස දැනෙන්න ) එහෙම කියල හරියන්නෙත් නෑ.

                                   ඉක්මනට එකක් තෝරගන්නත් එපැයි. මිනිහ කැන්ටිම පැත්තේ ගිහිල්ල හකුරු කහට එකකකුත් ගගහ ( ඒ කාලෙ සීනී නෑ ) පාසලක් තෝරන්න පටන් ගත්තලු. ඒ මේසෙම තේ බිබී හිටපු මහත්තයෙක් , අපේ මිනිහගෙන් විස්තරේ දැනගෙන බොහොම පහසු පාර ළඟ ඉස්කෝලයක් තෝරල දුන්නලු.

                                  අපේ එක්කෙනත් මෙහෙම එක්කෙනෙක් හමුවීම ගැන ස්තුති කරලා කොළෙත් අරං අද්යක්ෂතුමා හමුවෙලා පාසල තෝරලා දුන්නලු. .

" මහත්තය හොඳට බලල නේද තෝරගත්තේ ? "

." ඔවු සර් "

                                  අපේ යාළුවත් සිංහයා වගේ උත්තරදීලා පත්වීම් ලිපිය බරගත්තලු.....

                                 දිග කතාවක් කෙටියෙන් කියනවනම් මිට අවුරුදු ගානකට පස්සේ මමයි , මගේ වෙන යාළුවෙකුයි , මුලින් කියපු එක්කෙනයි මොකක්ද උවනනාවකට ඒ ඉස්කෝලෙට ආපහු ගියා. පාරෙන් පයින් ගිහිල්ල , ඔරුවලින් කළු ගඟෙන් එතෙරවෙලා ආයි කියන්න දෙයක් නෑ එක විකාරයයි.

                                අපිට එහේ ගුරු නිවාසෙ නතරවෙලා හිටපු ගුරුතුමෙකුගේ නෝනා සුදුබත් උයල , කරවල තෙල්දාල ( මගේ ඉල්ලීම පිට ගුරුනිවසේ අද්දරම මහා ලොකු මිරිස්‌ ගහක තිබුණු ලස්සන බෝල මිරිස් එක්ක ) තවත් ජාති එක්ක කාපු උණු බත්වල රස..........

                               මාන්සියේ හැටියට
දිව්ය භෝජනයක් වගේ. හැබැයි ඒ හිනි මිරිස් . කාල ටිකකින් මට සැර වැඩිකමට බඩේ දැවිල්ලත් හැදුනා. .

                               මගේ මුලින් කියපු යාළුවා පුංචි පිහියකුත් හංගගෙන දවස් කීපයක්ම සැරින් සැරේ නිවාඩු දාල අද්යාපන කාර්යාලෙ පැත්තේ රවුං ගැහුවලු උපදෙස් දුන්නු මහත්තය හම්බුවෙලා හොයල දුන්නු ඉතා පහසු ස්ථානේ ගැන මතක්කරල හොඳට සලකන්න . .

                              ඒ කාලෙත් අද වගේමයි. අපරාදෙ කියන්න බෑ සමහර මිනිස්සු පුදුම විදහට අනුන්ට උපකාර කරලා ( තිරිසන් ) සතුටක් ලබාගන්නවා.
අනේ සාදු. !
දවල් හීන.

                                     දෙයියන්ට හෙම්බිරිස්සාව හොඳවෙලා වගේ. මදැයි දවස් විස්සක් විතර තිබුන. දැන්නං ඉන්දියාව දිහා බලලලු නේද ? ඒ ගොල්ලන්ටත් දෙයියන්ගේම පිහිටයි ! අපිට වගේම නාගන්න ලැබේවා ! 

                                      දවස් ගානකට පස්සේ ඉරු දෙයියො අපේ මිදුළ දිහා බැලුවෙ. ඒ ටිකේ එයා , අරයට වැඩේ බාරදීල ට්‍රිප් එකක් ගියාද දන්නෙ නෑ. . මිදුලේ තණකොළ ටිකනං ගජරාමෙට වැවිල. දැන් ඉතිං කපහල්ලකො දවස පුරාම මිදුලෙ තණකොළ!

                                      ගෙදර කවුරුවත් නෑ. ලෝන් මුවරේ අරන් මිදුලෙන් කාලක් විතර කැපුවා. කිසිම කිසි ගතියක් නෑ. අමුවෙන්ම වැඩ කරන්නත් බෑනේ. 

                                       පොඩි වොෂ් එකක් දාගත්ත .මේ තියෙන්නේ බඩු නේ. ආයි මොනවද කියන්නේ . වීදුරුවක් ගත්ත . එක බෝතලයක් ඇරලා චුට්ටක් දාගත්ත. ( මම කොහොමවත් බාල ජරාව ගේන්නෙ නෑ. හොඳ සල්ලි .නියම බඩු. බෝතලේ ඇරපු ගමං සුවඳඑනවා. ) ඊළඟ බෝතලෙත් ඇරලා ගානට දාගත්ත ( ඩොක්ට කියල තියෙන්නෙ මද පමණින් භාවිත කලාට අවුලක් නෑ කියල. ) පස්සේ පරිසිදු වතුර ටිකක් දාල කලවම් කරල හාන්සි පුටුවකට වෙලා සිප් එක , සිප් එක ගහනකොට .....................
                                       ආයි කියලා වැඩක් නෑ. ඇඟේ පතේ අමාරු කොහේ ගියද කියල නෑ . ඕගොල්ලෝ මේකේ ගතිය දන්නවනේ. ............( අනුන්ගේ සැපතට ඉරිසියා කරන්න එහෙම එපා .පොඩ්ඩක් ඔනේමනං යාළුවොත් එක්ක ළඟම ටවුමේදී .............දන්නවනේ. ) .

                                       ඔයගොල්ලෝ හිතන්නේ මොකක්ද කවුරුහරි මොනවහරි කියනකොටම අපි අපිට තේරෙන , අපි දන්න , අපිට අවභෝද කරගතහැකි අන්දමට හිතින් මවාගන්නවා.
මාධ්‍යකාරයෝ දේශපාලකයෝ ඇතුළු මෙකි නොකී අය කරන්නෙත් මේකම තමයි. .

                                       අපි අපේ අත්දැකීම් , අපට විෂයය වන දේ සමඟ හිතාගන්නවා අපි කැමති දේවල් .........අපි මවාගන්නවා. ( පරිකල්පනය නේද හරි වචනේ ) ඒ ගොල්ලො දන්නව මේක කියන , ලියන ඉදිරිපත්කරන විදිය. කොටින්ම කිවුවොත් අපිව අමුවෙන්ම අන්දනවා. (. නෑ. , මම ටිකක් වැරදියි. -- අපිම ඇඳගන්නවා. .......ගොනාට ! ඊටත් වැඩිය ඉහල බූරුවට ! නැතිනම් කොටළුවට. ) ඒ තමතමන්ගේ ශක්තිය , භාවිතාව ...........තව නොඑක් දේ අනුව.

                                      ඔයගොල්ලො හිතයි මෙයා එකපාරටම මේ මොනවද කියන පිස්සු කතා. පොර මේ මොනවද දෙන බණ ටෝක් කියල. නැත්තං බලයි මුට මඤ්ඤං ද කියල. .

                                      අපි ආපහු මුල් කතාවට යං. මුලින්ම මම ඇරියේ කෝපි බෝතලේ. මම වැඩි ගනක් දීල හරි කලවම් නැති හොඳම කෝපියි ගේන්නෙ .දෙවෙනියට ගානට දැම්මෙ සීනි .ඩොක්ට කියල තියෙන්නෙ වැඩිපුර දාන්න එපා කියල .පස්සේ දැම්මෙ උණුවතුරනේ . පුටුවක් උඩ වාඩිවෙලා සිප් එක , සිප් එක ගහනකොට මහන්සිය කොහේද කියල නෑ. .
                                      මම ලිවුවේ කෝපි හැදිල්ල ගැන. ඔනෙනං ආයිත් හොඳට කියෝලා බලන්න. ඔයගොල්ලෝ එක එක එවුව මවාගත්තට මං පළිද ? . ඔබ අන්දගත්තද නැතිද කියල , ඒ කොපමණ ප්‍රමාණයකටද ( මම කියපු එවුන්ගෙන් කොයිකටද වැඩිපුරම ගැලපෙන්නේ කියල ඔබම හිතාගන්නකෝ.) . මේක ලියපු මාත් , ඔබගෙන් සමහරකුත් ( හැමෝම නෙවෙයි ) දැන දැනම හැමදාම කරන්නෙ මේක නේද .

ටිකක් විවේකීව හිතමු. අපි මේ දුවන දිවිල්ල කොහාටද ? කොතනටද ?